යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට සාධාරණය ඉටු කර තිබෙනවා
යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බවද පැවසූ ඒ මහතා ජනතාව වෙනුවෙන් යහපත්, සුරක්ෂිත පරිසරයක් සහතික කර ඇති බවද සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසා දී ඇති අතර සිවිල් වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘සැම සුරැකි සාමකාමී දේශයක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශය ගෙවී ගිය දෙවසර තුළ ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා.