බන්ධනාගාර නියාමකගේ ළඟ තිබී දුම්කොළ අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයේ රාජකාරීයේ නියුතු නියාමකවරයකු සන්තකයේ තිබී දුම්කොළ කීපයක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් ඊයේ (30)සමත් වී ඇත.

මැගසින් බන්ධනාගාරයේ රාජකාරී නියුතු මෙම නියාමකවරයා ඊයේ (30) සවස 02.15 පමණ මැගසින් බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවීමට පැමිණි අවස්ථාවේදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් සෝදිසියකට ලක් කර ඇත.

ඒහිදී මෙම නිලධරියා පැලද සිටි රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ දුම්කොළ කීපයක් හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන්ට හමුවී තිබේ. මෙම නිලධාරියා වසර 30ක පමණ සේවා කාලයක් සපුරා ඇති නිලධාරියකු වන අතර, මූලික විමර්ශණයකට යටත්ව ඔහුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා කියයි.

බුද්ධිකා ඉඹුලාන