ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි.ඒ වෙනුවෙන් විවිධ අත්හදාබැලීම් කරනවා.නමුත් නිසි ප්‍රතිඵල නොලැබෙන තැන ඒ සියල්ලම අතැර දමා මානසිකව පසුතැවීමක් විතරක් ඉතුරු වෙනවා.ලස්සන වීම ,පැහැපත් වීම හැකි ඉක්මනින් කළ හැකි දේවල් නොවෙයි.ඉක්මනින් ලස්සන වෙන්න දිනෙන් දින ලෝකයේ විවිධ නිෂ්පාදන වෙළඳපොළට ආවත් ඒවායින් ලැබෙන ප්‍රතිඵල ද හරි තාවකාලිකයි.නමුත් ඒවාගෙන් ලැබෙන අහිතකර ප්‍රතිඵල නම් සදාකාලිකවම පවතිනවා.කෘත්‍රිම ක්‍රම නැතුව ස්වභාවික ක්‍රම මඟින් රූපය පවත්වාගැනීමට හැකියි නම් එය ඉතාමත් ප්‍රතිඵලදායකයි.ඉක්මනින් ප්‍රතිඵල නොලැබුණත් ඉවසීමෙන් කාලයක් තුළ කෙරෙන සත්කාර මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි.එසේ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ස්වභාවික රූපලාවණ්‍යය කාරකයක් ලෙස ‘ කෝපි ‘ දැක්විය හැකියි.ඖෂධීය ගුණයෙන් වගේම රූපලාවණ්‍යය ගුණයන්ගෙන්ද අනූන කෝපි ඔබට ගෙනෙන වාසි රැසකි.එනම් කෝපි තුළ සැඟවුණු රූ රහස් රැසකි.

– රුව රකින කෝපි සත්කාර –

දුර්වර්ණ වූ සම පැහැපත් කරන සුවිශේෂී ගුණයක් කෝපිවල ඇත.යම් යම් පාරිසරික තත්ත්වයන් නිසා දුර්වර්ණ වූ සම යළි තිබුණු ලෙසම පවත්වාගැනීමට කෝපි උපකාරී වේ.සීනි රහිතව සාදාගත් කෝපි කෝප්පයක් ස්නානය සඳහා ගන්නා ජලයට එකතු කිරීමෙන් මෙම කෝපි සත්කාරය ලැබිය හැකියි.සමට පමණක් නොවෙයි හිසකෙස් සඳහා ද කෝපි හොඳ සත්කාරයකි.

කෝපි ,කඩල පිටි ,යෝගට් මිශ්‍ර කර සාදාගන්නා ආලේපය ද ඉතාමත් ප්‍රතිඵලදායි ආලේපනයකි.මෙය face pack එකක් ලෙසත් සම්පූර්ණයෙන්ම සිරුරටත් භාවිතා කළ හැකිය.සම පැහැපත් කරන ආලේපනයකි.කෘත්‍රිම කිසිවක් නොමැති බැවිනි අතුරු ආබාධ රහිතය.

කෝපි හිසකෙස් රැකගැනීමටත් ඉතාමත් අගනා සත්කාරකයකි.ඒ අනුව කෝපි ,පොල්තෙල් ,යෝගට් ,විටමින් E යොදා සාදාගන්නා මිශ්‍රණය හිසකෙස් සඳහා භාවිතා කළ හැකිය.කෙස් අකලට ගැලවීම ,නිරෝගී නොවන හිසකෙස් සඳහා මෙය කදිම විසඳුමකි.

එමෙන්ම කෝපි ,සීනි ,ඔලිව් තෙල් මිශ්‍රණය මුහුණට මනා පෙනුමක් ගෙනදෙයි.මැරුණු ,විඩාවට පත්වූ සමට නැවුම් බවක් ලබාදෙයි.සමෙහි රැඳුණු කුණු දූවිලි ඉවත්ව සුන්දර පෙනුමක් ලබාගත හැකිය.කෝපි ,කිරි සහ බිත්තර සුදු මදය එක් කොට සාදාගන්නා මිශ්‍රණය ද ප්‍රතිඵලදායකය.එය මුහුණට මාස්ක් එකක් ලෙස භාවිතා කළ හැකිය.කෝපි ඔබේ වියළි සම ,විඩාවට පත්වූ සම ,රැළි වැටුණු සම ඉතාමත් හොඳ පෙනුමකින් ඔබට තිළිණ කරයි.

පාදවලට ,වැලමිට ,දණහිස්වලට ද ඔබට මේ සත්කාර කළ හැකිය.රූපලාවණ්‍යය කාරකයක් ලෙස භාවිතා කිරීම කෙසේවෙතත් කෝපි යනු ඉතාමත් ජනප්‍රිය පානයක් බව අපි කවුරුත් දන්නවා.මෙහි අඩංගු කැෆේන් නිසා මොළය අවදිව තැබීමට කෝපි සමත්කම් දක්වයි.එය අපේ සෞඛ්‍යයට එතරම් සුබ දෙයක් නොවන බවත් තරයේම සිහිතබා ගන්න.