සුබ ආරංචිය ගැන ප්‍රසන්නගේ අදහස

ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර මැතිවරණ කල් දැමීමට රජය කිසිවිටකත් කටයුතු නොකරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මුලින්ම ව්‍යවස්ථානුකූලවම ජනාධිපතිවරණයක් පවත්වන බවයි. අනතුරුව ලබන වසරේදී මහා මැතිවරණයක් පවත්වන බවද අමාත්‍යවරයා කීය.

මීට වසර දෙකකට පෙර අස්ථාවරව තිබූ රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇති බව කී අමාත්‍යවරයා එබැවින් ජනතාව තුළ ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශ්වාසයක් ඇතිව තිබෙන බවද සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මැතිවරණය කල් දානව ද කියල රටේ යම් මතවාදයක් යනවා. ඒ වගේම මුලින් මහ මැතිවරණයක් තියනවද, එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයක් තියනවද කියලත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

නමුත් අපි පලමුවෙන්ව කියන්න ඕනෙ රජයක් හැටියට මුලින්ම යා යුත්තේ ජනාධිපතිවරණයකට කියලා. ව්‍යවස්ථානුකූලව මුලින්ම පවත්වන්න අවශ්‍යත් ජනාධිපතිවරණයක්. රට අස්ථාවර වුණාම ඒක සෘජුවම බලපාන්නේ ජනතාවට. ඒ නිසා මේ රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයයි. ජනාධිපතවරණය ජයග්‍රහණය කළාම අපිට මහා මැතිවරණය පැවැත්විය හැකියි. ව්‍යවස්ථාවය පිටින් කටයුතු කරල, මැතිවරණ කල් දමන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ලබන අවුරුද්දෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා.

මීට අවුරුදු දෙකකට උඩදි 2022 මැයි වෙනකොට මේ රටේ පැවතිච්ච තත්ත්වය අපි හැමෝටම අවබෝධයක් තියෙනවා.මිනිස්සු මහපාරවල් වල ඉන්ධන පෝලිම්  වල ගෑස් පෝලිම් වල හිටියා. රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් නැතිවෙච්ච කාලයක් තිබුනා. පාස්කු ප්‍රහාරය  වගේම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපිට ඇතිවෙච්ච විදේශීය මූල්‍ය වල ගැටලු නිසා අපි හුමුණ දීපු තත්වය අපිට මතකයි.

ඒ වෙලාවෙදී අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. පාර්ලිමේන්තුව තුල අපි පොහොට්ටුවේ කණ්ඩායමක් හැටියට රනිල් වික්‍රමසිංහ මහතාට අපි උදව් කළා. අපිට විශ්වාසයක් තිබුන එතුමාට තියෙන අත්දැකීම, පරිණත භාවය සහ අභියෝග භාර ගැනීමේ හැකියාවත් එක්ක ඒ කටයුත්ත එතුමා කරයි කියල.

අපි අවුරුදු දෙකක් ආපස්සට බලන කොට එතුමා අපි බළාපොරොත්තු වූ දේ කරල තියෙනවා. දැන් ගමේ ජනතාව තුළ මතයක් හැදිල තියෙනව රනිල් තමයි මිනිහ කියල. එහෙම නම් අපි එදා ගත්ත තීන්දුව හරි කියල අපි හිතනවා.

රටට සුභ ආරංචියක් කියනකොට මෙ රටේ සුභවාදීව බලන හැම මනුස්සය ම බලන්නෙ හොඳ දෙයක් ගැන. ඒ ගැන බළාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා. හැබැයියි තවත් කණ්ඩායමක් සුභ ආරංචියක් කිවම ඒ දිහා බලාගෙන ඉන්නේ කුහකත්වයෙන්.

මේ පෝස්ටරයත් එක්ක රටට ආදරේ මිනිස්සු මේ රට විනාශ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සුයි අතර බෙදීමක් පැහැදිලි ව අපි දැක්කා.

සමහර විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් සජබෙ මේ ගොල්ලන්ගෙ දේශපාලන නායකයො වෘත්තීය සමිති නායකයෝ හැමදාම රටට හොඳක් වෙන වෙලාවල් වල වැඩවර්ජන කරල කැත කරල තියෙනව.

2023 මාර්තු   අයි එම් එෆ් එක ගිවිසුම අත්සන් කරලා පළමු වාරිකය දෙන්න සතියකට ඉස්සෙල්ලා මේ වගේම වැඩ වර්ජන රැල්ලක් ඇති කලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරකයෝ එන්න අඩු වුණා. යන්තම් සංචාරකයෝ එන්න පටන් ගන්නකොට කොවිඩ් වසංගතය නිසා රට වහන්න සිදු වුණා. රට ඇරලා සංචාරකයෝ එන්න පටන් ගන්නකොට වෘත්තීය සමිති පාරට බැහැල උද්ඝෝෂණ කරලා එන එක නැවැත්තුවා. අද මේ හොද පණිවිඩයක් සුභ පණිවිඩයක් එන්න හදන වෙලාවෙ.

ඒක විනාශ කරන්න ඒක නොවෙන තත්වයට පත් කරන්න අද වැඩවර්ජන රැල්ලක් ගෙනියනවා. මම විශ්වාස කරනවා පසුගිය කාලේ මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක රාජ්‍ය සේවකයන් යම් අපහසුතාවකට පත්වුණා. හැබැයි මතක තියාගන්න කොවිඩ් වසංගතය වෙලාවේ අපේ රටේ පෞද්ගලික අංශය පවා වැටුණා. සේවකයින්ගේ වැටුප් පවා අඩු කලා. හැබැයි රජය එහෙම කළේ නැහැ. පුළුවන් තරම් රජය රාජ්‍ය සේවකයන් ආරක්ෂාකරගෙන ගියා. ඒ කරපු රාජ්‍ය නිළධාරීන් මේ වන විට ඒ අයගේ වැටුප් වැඩිවීම්ක් ඇති වෙන්න ඕන කියන විශ්වාසය ඇතුව ජනාධිපතිතුමා මේ වැටුප් විශමතාවල් සොයා බලන්න කමිටුවක් තියෙද්දී ඒ කමිටුව හරහා සුභවාදී පිලිතුරක් ලැබෙනවා කියලා දැන දැනත් මේ වැඩවර්ජන රැල්ලක් කරන්නේ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වල න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න.  ඊට පස්සේ කියන්නේ ඒගොල්ලෝ කරපු වැඩ වර්ජනය නිසා තමයි මේක ලැබුණේ කියලා. අපි 2025 ජනවාරි වන විට මේ වැටුප් විශමතාව නැති කරන්න කමිටුවක් දාල මාස 3 ක් ඇතුළත වාර්තාවක් දෙන්න කියලා තියනවා. ඒ දෙනවා කියලා තියෙද්දිත් මේ අය ඕන කමින්ම කටයුතු කරන්නේ එකක් මේ ප්‍රංශ සම්මුතිය හරහා අපේ රටට ලැබෙන්න තියෙන වරප්‍රසාදය පිළිබද ඒක හීන කරන්නත්, ඒ වගේම රාජ්‍ය සේවය යම් තත්ත්වයකින් හොද මට්ටමට යනකොට මේ රට අරාජික කරලා ආර්ථික වශයෙන් නැවත කඩා වට්ටලා ඒ අයගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා අපිට තේරෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව බුද්ධිමත්ව මේ දෙස බලයි කියලා.

– ප්‍රදීප් අනුර කුමාර