වවුනියාව – මැදවච්චිය ඇතුළු පෙදෙස් රැසක භූ කම්පන ගැන පැහැදිලි කිරීමක්
වවුනියාව මැදවච්චිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පෙරේදා (18) මධ්‍යම රාත්රියේදී පොළොව සෙලවීමක් සිදුව තිබේ. රාත්‍රී 11.05ට පමණ එක්වරම විශාල ඝෝෂාවක් ඇති වී පොළොව සෙලවී ගිය බව එම ප්‍රදේශවල වැසියෝ පැවසූහ.
මැදවච්චිය ප්‍රදේශයේ වැසියන් කියා සිටියේ එක්වරම වන අලි රංචුවක් පාර දිගේ දුවනවා වැනි ශබ්දයක් ඇසී සියලු දෙනා කලබලයට පත්ව එළියට පැමිණි බවයි. එහෙත් ස්වල්ප වේලාවකදී ඒ ශබ්දය තුනීව ගිය බව ඔවුහු ප්‍රකාශ කළහ. වවුනියාවේ එම භූ චලනය පැවති පෙදෙස්වල වැසියන් කියා සිටියේ සුපර් සොනික් ගුවන් යානයක් ගමන් කරනවා වැනි ශබ්දයක් ඇසුණු බවත් නිවෙස්වල භාණ්ඩ පවා සෙලවී ගිය බවත්ය. මැදවච්චියේ ජනතාව පවසන්නේ රාත්‍රී 11.02ත් 11.05ත් අතර සිදු වූ මහා හඬක් සහිත මේ භූ කම්පනයෙන් තම නිවාස හා ගෘහභාණ්ඩ මෙන්ම පොළොවද සෙලවී ගිය බවයි.
56,000කට ආසන්න මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාව නිදිවරමින්, බිරාන්තව ගත කළ රාත්‍රිය පිළිබඳ අප කළ විමසීමේදී ඔවුහු මෙසේ කීහ.
පෙරිය උලුක්කුලමේ ධම්මානන්ද හිමි: “මම බණ පොතක් කියව කියවා හිටියේ. ඊයේ රාත්‍රී 11.02ට විතර එක් වරම විශාල සබ්දයක් ඇහුණා. ඒ එකක්ම බිත්ති දෙදරන්න ගත්තා. පොළොව යටින් තමයි මේ සදිද ආවේ. ඒත් කිසිම කරදරයක් පරණහල්ම්ල්ලෑව ගම්මානයේ මගේ දායක පිරිසටවත් මටවත් සිදු වුණේ නෑ. මේ භූ කම්පනයක් කියන දේ හැමෝම දැනගෙන හිටියා. ඒ නිසා ආරක්ෂිත ස්ථානවලට හැමෝම ගියා.”
සුමිත් ජයසිංහ මහතා: “මම ටීවී බලමින් තමයි ඒ වෙලාවේ හිටියේ. එක් වරම මහ හඬක් ආවා. පොළොව යටින් තමයි ඒ හඬ ඇහුණේ. ඒ එක්කම බිත්ති ගේදොර බඩු භාණ්ඩ හෙලවුණා. අපි බය වෙලා ගෙයින් මිදුලට බැස්සා. මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා. අනතුරුව මම අදාළ බලධාරීන් දැනුවත් කළා.”
ආර්. ජානකී කුමාරි: “රෑ 11.02ට විතර එක්වරම අමුතු සද්දයක් ආවා. ඒ එකක්ම ගෙදර හෙලවුණා. අපි දරුවොත් අරගෙන මිදුලට බැස්සා. මොකද්ද වුණේ කියලා දන්නේ නෑ. උදේ තමයි දන්නේ භූ කම්පනයක් කියලා.”
නෙරන්ජලී දිසානායක: “මම දරුවත් එක්ක ඇඳේ හිටියේ. එක පාරටම ඇඳ හෙලවෙන්න ගත්තා. මම ළඟ තිබුණු පුටුවකින් ඇල්ලුවා. ඒකත් හෙලවුණා. මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරුව අපි බයෙන් හිටියේ.”
මේ සිදුවීම පිළිබඳව අපි අනුරාධපුර දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ලුතිනල් කර්නල් සනත් දිසානායක මහතාගෙන් විමසීමක් කළෙමු.
“රිච්ටර් මාපක 2.3ක භූ කම්පනයක් රාත්‍රියේ සිදුව තියෙනවා. එය වව්නියාවට සහ අනුරාධපුර දෙසට කිලෝමීටර් 23ක් පැතිර තිබෙනවා. මේ භූ කම්පනය කැබිතිගොල්ලෑව, ගෝණමැරියාව ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරය කිලෝමීටර් 8ත් 10ත් අතර ඇතුළත තමයි සිදු වී තිබෙන්නේ. එහි තරංග ගමන් කිරීමක් සිදුව ඇති අතර, ඒ හේතුව නිසා ජනතාවට එය දැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව අප දැඩි අවධානයෙන් සිටිනවා.”
වවුනියාව ප්‍රදේශයේ ජනතාවට දැනුණු භූ කම්පනය ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඉතා ගැඹුරින් පිහිටි පැලුම් තල ආශ්‍රිතව පවතින ශක්තිය මුදාහැරීමක් නිසා සිදු වූවක් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මෙයට වසර 10කට පමණ ඉහතදීද මේ ආකාර කම්පන තත්ත්වයක් වවුනියාව හා මැදවච්චිය ප්‍රදේශයන්හි ජනතාවට දැනී තිබෙන බවත් නැවත වසර ගණනාවක් යන තුරු මේ ආකාර කම්පනයක් එම ප්‍රදේශවල ඇති වේයැයි අනුමාන කළ නොහැකි බවත් ඒ මහතා කීය. පෘථිවිය වාර්ෂිකව මි.මී. 2ක පමණ ප්‍රමාණයකින් එසවෙන බවත්, එවැනි අවස්ථාවල පැලුම් තල තුළ ඇති වන ආතතිය මුදාහැරීමක් සාමාන්‍යයෙන් සිදු වන බවත් කී මහාචාර්වරයා එවැනි අවස්ථාවක සුළු භූ කම්පන තත්ත්වයක් දක්නට ලැබෙන බවද අවධාරණය කළේය.
රසුල දිල්හාර ගමගේ, එස්.ජී. උබේපාල