පොලිස් ගිනි අවිය පත්තු වී සැකකරු තුවාල ලබයි
ඊයේ රාත්‍රී 12ත් 1ත් අතර තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරු තුවාල ලබා ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවට වාර්තා වේ.
එම ප්‍රදේශයේ වැටලීමකට තිදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර පොලීසිය එහි ළඟාවීමත් සමඟ එම පිරිස් පළාගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඔවුන් අත්අඩංගුවට යාමේදී පොලිස් සැරයන්වරයෙකු සහ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් ඔහුට වෙඩි වැදී ඇත.
තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.