තරගෙට මත්පැන් බී එලොව ගිය ජයග්‍රහකයා

හැටන් වතු යායේ තරුණ පිරිසක් එක්ව පැවැත්වු වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කරන පුද්ගලයා තේරීමේ තරගයට සහභාගී වූ තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති (39) හැවිරිදි තිදරු පියෙකි.

පසුගිය (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා තිබෙනවා.

ඒ අනුව මත්පැන් බෝතල් තුනක් තරගකරුවන් තුන් දෙනෙකු අතරේ ලබා දී ඇති අතර අඩුම කාලයක් තුලදී අදාල මත්පැන් බෝතලය පානය කරන ලද පුද්ගලයා ජයග්‍රාහකයා ලෙසද තෝරා පත් කර ගැනීමට මෙම තරගයේදී කටයුතු සූදානම් කර තිබු බවට වාර්තා වේ.

එම තරගයට එම වතුයායේ පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා අදාල තරගයෙන් ජයග්‍රහණයද ලබා තිබෙනවා.

අදාල තරගකරු තරගය නිමවා නිවසට පැමිණ රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු ඊට පසුදින අළුයම නින්දේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වේ.

තවද, තරගයට ඉදිරිපත් වූ තවත් අයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ නිව්මෝනියා උණ රෝගය වැලඳි තිබීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම මරණයට හේතුවි ඇති බවයි.

හැටන් පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු (31) දින එම වතුයායේදි සිදු කර තිබේ.