“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

එමෙන්ම “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි.

රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15 වනදා ආරම්භ වූ අතර ඊයේ (29) වන විට නව අයදුම්පත් 35,920ක් ලැබී තිබේ. ඒ අතරින් අයදුම්පත් 14,537ක් ප්‍රාදේශීය ලේකම් හරහාද, අයදුම්පත් 21,383ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද ලැබී ඇත.

අද දිනය වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 4892ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත්4708ක්ද,රත්නපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2,971 ක්ද ලැබී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2243ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2099ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2017ක්ද ලැබී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1887ක් ලැබී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ වන විට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 1633ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1632ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් පත් 1408ක් ලැබී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1405ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1289ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1166ක් වශයෙන් ලැබී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අයදුම් පත් සංඛ්‍යාව 981ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 954ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 782ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 687ක්ද ලැබී තිබේ.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 570ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 525ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 472කි. කිලිනොච්චිචි දිස්ත්‍රික්කයෙන් 451ක්ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 421ක්ද, වව්නියා දිස්ත්‍රික්කයෙන් 389ක්ද වශයෙන් නව අයදුම්පත් යොමු කර ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 183ක් හා මන්නාරම දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 155ක්ද ලැබී තිබේ.

පළමු අදියර යටතේ මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණයි.