පොසොන් පොහොය නිමිති කරගෙන මේ මස 6 වන දා දක්වා පැවැත්වෙන “පොසොන් සතිය” වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගරවලට පැමිණෙන මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2500ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 900ක් පමණ විශේෂ රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

පොසොන් උත්සවයට පැමිණෙන රථවාහන ගාල්කිරීම සඳහා අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන රථවාහන ගාල් 20ක් ද, මිහින්තලය පූජා නගරය මූලික කර ගෙන රථවාහන ගාල් 6ක් පමණ ස්ථාපනය කර ඇතැයි ද පොලිසිය කියයි.

එමෙන් ම, බැතිමතුන් සඳහා විවේකීව කාලය ගත කිරීම සඳහා අනුරාධපුර නගරයේ ගිමන් හරින ස්ථාන 6ක් සහ මිහින්තලය නගරයේ ස්ථාන 5ක් ද සූදානම් කර තිබේ.

එමෙන් ම, එම ප්‍රදේශවලදී බැතිමතුන් විසින් පරිහරණය කරනු ලබන වැව් සහ ජලාශ ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150කට අධික පිරිසක් ද, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයන් 130ක් පමණ ද නාවික හමුදා නිලධාරීන් 15ක්, සිවිල් ආරක්ෂක බළකා ජීවිතාරක්ෂක නිලධාරීන් 40ක් ද සමග ජීවිතාරක්ෂක නිලධාරීන් 335ක පමණ පිරිසක් යොදවා ඇති බව කියන පොලිසිය බැතිමතුන් වැඩි වශයෙන් භාවිත කරනු ලබන වැව් සහ ජලාශ ආශ්‍රිතව බෝට්ටු යොදවා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇත.

වන්දනා කටයුතු සඳහා පැමිණෙන තරුණ පිරිස් සහ පුද්ගලයන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී දෑ රැගෙන පැමිණීම වැළැක්වීම සඳහා පූජා නගරය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගයන් ආවරණය වන පරිදි මාර්ග බාධක 8ක් ද, පූජා භූමිය ඇතුළත මාර්ග බාධක 7ක් ද ස්ථාපනය කර ඇති අතර ඒ සඳහා පොලිස් නිල සුනඛයන්ගේ ද සහය ලබා ගෙන තිබේ.

පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර වන සහ බාධා වන ආකාරයට බීමත්ව අශෝභන ලෙස හැසිරෙන එසේ ම, පුරාණ විද්‍යස්ථානවලට හානිවන අයුරින් කටයුතු කරන හෝ පරිසර දූෂණය වන ආකාරයට හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා වැටලීම් සිදු කිරීමටත් පූජා නගරය ආවරණය වන පරිදි මෙම කාලසීමාව තුළ දිවා රාත්‍රි යතුරුපැදි සංචාර, ජංගම සංචාර යෙදවීමටත් සැලසුම් කර ඇති අතර ඒ සඳහා යතුරුපැදි 120ක් සහ පොලිස් රථ වාහන 100ක් පමණ යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *