තරුණයින් රවටා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් එලෙස අද (26) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචාකර ඇතැයි පැමිණිලි 4ක් කාර්යාංශය වෙත ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත බදුල්ල, දෙමෝදරදී මෙම කාන්තාවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් දෙදෙනා මේ වනවිට බදුල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර, හෙට දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී තිබේ.

මේ අතර දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජාතිකයෙකු කොට්ටාව ප්‍රදේශයේදී අද (26) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇත්තේ,
විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් අරම්භ කිරීම සඳහාය.

ඔහුට ඊට අවශ්‍ය නීතිමය අවසර නොලැබීමෙන් පසු දකුණු කොරියානු රැකියා සඳහා තරුණයින් යොමුකරන බව පවසා මුදල් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

සැකකාර කොරියානු ජාතික පුද්ගලයා හෙට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *