“ජීවිත තර්ජන තිබුණ ත් අඩියක් පස්සට තියන්නේ නැහැ”: පොලිස් ඇමති ටිරාන් කියයි
තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (මැයි 22) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අදාළ මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළේ, “ඔබතුමා මත්ද්‍රව්‍ය අල්ලන්න, ඒවා සම්පූර්ණයෙන් ම මැඩලන්න ලොකු වැඩපිළිවෙළක් ගෙනියවනේ. එම නිසා ඔබතුමාට ජීවිත තර්ජන තියෙනවා කියලා අපිට යම් යම් ආකාරයකින් තොරතුරු ලැබිලා තියෙනවා. ඇත්තට ම එහෙම තර්ජන තියෙනවා ද? කියන එක සම්බන්ධයෙන් ස්ථිරව ම උත්තරයක් අවශ්‍ය වෙනවා?,” යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“නෑ… එහෙම කතාවක්… මට ත් බුද්ධි අංශ වාර්තාවකුත් මට ලැබිලා තියෙනවා. මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ… දැන් මම මෙතැන ඉන්න කල් මත්ද්‍රව්‍ය අල්ලන එක, පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලා ගෙන වැඩ කරන්න. හැබැයි තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…”