රඳවා ගෙන සිටි ඉන්ජිනේරුවා නිදොස් කොට නිදහස්
2006 වසරේදී කොළඹ පිත්තල හන්දිය ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට තැත් කිරීම හා හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාතනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකෙන සිවලිංගම් අරූරන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (මැයි 16) නියෝග කළේ ය.
මෙම විත්තිකරු විසින් පොලිසිය වෙත ලබා දෙනු ලැබ ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබා දුන් පාපොච්චාරණයක් නොවන බවට සාක්ෂි විභාගය අතරතුරදී අනාවරණය වී ඇතැයි නිගමනය කරන බවට විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව, තම අධිකරණය මගින් තීන්දු ලබා දෙන්නේ පුද්ගලයාගේ තරාතිරම හා ඔහුට එල්ල වී ඇති චෝදනා කෙරෙහි අවධානය යොමු කරමින් නොවන අතර අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන සාක්ෂි කරුණු පදනම් කරගෙන බව විනිසුරුවරයා සිය නියෝගයේදී වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී එම නඩුව පවරා තිබුණු අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි.
මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන පොන්නසාමි රාමලිංගම් යන අයගේ පාපොච්චාරණය ද සටහන් කර ඇත්තේ ඉහත විත්තිකරුගේ පාපොච්චාරණය සටහන් කරන ලද පොලිස් නිලධාරීන් වන බැවින් එම විත්තිකරු සම්බන්ධයෙන් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තම අධිකරණයට සුදුසු නොවන බවට පෙනී යන බැවින් එම විත්තිකරු හා නඩු ගොනුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි දමිළ ලේඛකයෙකු වන සිවලිංගම් අරූරන් 2022 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳ ම දමිළ නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේ ය.
සම්මාන උලෙළේ හොඳ ම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව සිවලිංගම් අරූරන් විසින් රචිත ‘ආදුරසාලයි’ සම්මානයෙන් පිදුම් ලැබීය.
සිවලිංගම් අරූරන් 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගෙන ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී 2009 වසරේ ජූනි 25 දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන තිබිණි.
බන්ධනාගාරගත වීමෙන් පසු කියවීමට හා ලිවීමට දැඩිව නැඹුරු වී ඇති අරූරන් දෙමළ භාෂා කෘති 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර තිබේ.
2016 වසරේදී ද හොඳ ම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු හිමි කර ගෙන ඇත.