ත්‍රිකුණාමලයේ උණුසුම ආරක්ෂක අංශ පාලනය කළ හැටි

0

සියම් උපසම්පදාව සියම් දේශයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (14) උදේ ත්‍රිකුණාමලයේ පැවැත්වීමට ගිය උත්සවයකට යාපනයේ සිට පැමිණි ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක නියෝජිතයන් පිරිසක් බාධා කිරීමට එරෙහිව ජනතාව හා භික්‍ෂූන් වහන්සේලා විරෝධය දැක්වීම නිසා ත්‍රිකුණාමලය නගරයේ උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා.

ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව අසලට රැස්වූ ජනතාව සහ භික්‍ෂූන් වහන්සේලා සාමකාමී පා ගමනකින් අදාළ උත්සවය පැවැත්වීම නියමිත ස්ථානයට පැමිණෙමින් සිටියා.

පොලිසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය මාර්ග හරස් කරමින් එම පා ගමන වළකාලීමට උත්සාහ ගත්තේ සාමය කඩවීමේ සිදුවීම් ඇතිවෙතැයි පවසමින්.

එහෙත් ආරක්‍ෂක අංශ වෙත ඔවුන් දැඩි ලෙස තත්ත්වය පහදාලීමටද ප්‍රයත්න ගනු දක්නට ලැබුණා.

ඒ අනුව බාධක මැදින් ඉදිරියට ඇදුණු පිරිස අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට ළඟාවෙද්දී ඒ වනවිට ඒ අසල (බෝගස හතර ස්ථානය) ඉදිරිපිට ද්‍රවිඩ දේශපාලන නියෝජිත පිරිස පවත්වමින් සිටි සත්‍යග්‍රහය අතහැර දමා එතැනින් පිටව ගොස් තිබුණා.

ඒ වනවිට සියම් දේශයේ සිට උපසම්පදාව සිහිකිරීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා ත්‍රිකුණාමලය වරායෙන් ගොඩ බැස සිටි අතර එහිදී උන්වහන්සේලා මහා සංඝරත්නය, ත්‍රිකුණාමලය මහ දිසාපති ආරක්‍ෂක අංශ ප්‍රධානීන් විසින්ද පිළිගනු ලැබ සිටියා.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියන්ද ඊට එක්වූවා.

උද්ගතව තිබූ තත්ත්වය හමුවේ එම නියෝජිත පිරිස ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයට වැඩම කොට පසුව නුවර බලා වැඩම කර තිබෙනවා.

මෙම බාධා කිරීම් හමුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ජනතාව එම ස්ථානයේ වෙනමම උත්සවයක් පැවැත්වීමට පසුව පියවර ගත්තා.

එහිදී අනුශාසනාවක් කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අලුත්ඔය සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ එම උත්සවය දිසාපතිතුමියන් හා සෙසු ආගමික නායකයන් සමඟ ඒකාබද්ධව ඉතා සුහදත්වයකින් සංවිධානය කර තිබුණත් ජාතිවාදී සුළුතරයක් විසින් එය කඩාකප්පල් කළ බවයි.

නමුත් අවුරුදු 2500 ක් ඉපැරණි බෞද්ධ උරුමය වෙනුවෙන් ජනතාවත් භික්‍ෂූන් වහන්සේලාත් නොපැකිලිව ක්‍රියාකරන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනම ඉතා සමගියෙන් වෙසෙන ත්‍රි’මලයේ යළිඳු ජාතිවාදී විෂබීජ පැතිරවීමට පටු ‘දේශපාලන’ ඉත්තන්ට ඉඩනොදීම ආණ්ඩුවේ වගකීමක් බවත් උන්වහන්සේ කියා සිටියා.

සුළු ජන ඡන්ද බලාගෙන දේශපාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාත් ප්‍රයත්න ගැනීම කනගාටුදායක බවද උන්වහන්සේ අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *