“පුංචි ඡන්දයේ පමාවෙන් මැතිවරණ වියදම් රතු ඉර පනී”

0

පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ වියදම් සීමා පනත උල්ලංඝණය කළ බවට පැමිණිලි ලැබී එම පැමිණිලි පරීක්ෂා කිරීමේදී වියදම් සීමා ඉක්මවා ඇති බව තහවුරු වුවහොත්, එවැනි පක්ෂවලට හා අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

ඡන්දය පැවැත්වීමෙන් පසු අදාළ ඡන්දය සඳහා සිදුකර ඇති වියදම් පිළිබඳ වාර්තාවක් තරග කළ අපේක්ෂකයන් සහ ඔවුන් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්යන තත්ත්වයක් නිර්මාණය වීම නිසා අපේක්ෂකයන්ට ප්‍රචාරක කටයුතු සිදුකර ගෙන යෑමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇති බව ද වාර්තා වේ.

වියදම් සීමා පනත යටතේ යම් යම් සීමා පනවා ඇති අතර ඡන්ද විමසීම පැවැත්වීම කල් යාම නිසා ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා අනපේක්ෂිත වියදම් දැරීමට සිදුව ඇතැයි අපේක්ෂකයෝ පෙන්වා දෙති.

මේ වනවිටත් විශාල පිරිසකට එම වියදම් සීමාව ඉක්මවා යෑම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද දැනගන්නට ඇත. දේශපාලන පක්ෂ ද සිය ප්‍රචාරක කටයුතු සඳහා මේ වනවිට විශාල වශයෙන් මුදල් වියදම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ ය.

මෙම තත්ත්වය හමුවේ මැතිවරණ වියදම් සීමා පනත නිසා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද විශාල බලපෑමක් සිදුවී ඇතැයි අපේක්ෂකයෝ පෙන්වා දෙති.

ඡන්ද විමසීම සිදුකෙරෙන දිනය දිගින් දිගට ම කල් ගියහොත්, ප්‍රචාරක කටයුතු සිදුකිරීම අත්හැර දැමීමට සිදුවන අතර ඡන්ද ප්‍රතිඵලවලට ඒ හරහා බලපෑමක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි ද ඔවුහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *