නියමුවෙකුගෙන් ගුවන් හමුදාපතිට එරෙහිව අයිතිවාසිකම් පෙත්සමක්
ගුවන් හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කර තමන්ව අසාදු ලේඛනගත කිරීමට වත්මන් ගුවන් හමුදාපතිවරයා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් ඔහුගෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කරදීමට නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන එයාර් වයිෂ් මාෂල් සම්පත් තුයියකොන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (මැයි 2) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ගුවන් හමුදාපතිවරයාට අමතරව ගුවන් හමුදා පරිපාලන අධ්යක්ෂවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
ගුවන් හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කරමින් තමන් අසාදු ලේඛන ගත කර ඇති බවට මාර්තු මාසයේදී මාධ්‍ය මගින් තමන්ට දැනගන්නට ලැබුණු බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාව මගින් මෙතෙක් තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවද ඔහු එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
ජාතික ජන බලවේගය පක්ෂයේ දේශපාලන වේදිකාවෙහි තම මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමාව අසාදු ලේඛනගත කිරීමට සිදුවූ බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසූ බව ද එම පැමිණිල්ලේ සඳහන් ය.
මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට ගුවන් නියමුවෙකු වශයෙන් වසර 30කට වැඩි කාලයක් තමා ඉතා විශාල මෙහෙවරක් සිදු කළ බවත් ඒ වෙනුවෙන් පිරිනැමෙන වීරවික්රම වීරවිභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රැසක් තමන් හිමි කරගෙන තිබෙන බව ද ඔහු පෙන්වා දී ඇත.
ගුවන් හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටියදී හෝ ගුවන් හමුදාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධවී නොමැති බව ද එවැනි තත්ත්වයක් තුළ ගුවන් හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කරමින් තමන්ව අසාදු ලේඛනගත කිරීම දැඩි ගැටලු සහගත තත්ත්වයක් බව ද එම පැමිණිල්ලේ සඳහන් ය.
විශ්‍රාමික නිලධාරියෙකුට අදාළ සම්මත නීති පටිපාටින් අනුගමනය කිරීමකින් තොරව තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයාට හෝ ඔහුගේ නියෝජිත බලධාරීන්ට බලය හිමිවී නොමැති බව ද ඒ මහතා පෙන්වා දී ඇත.
කිසිදු විමසීමක් සිදු නොකර තමන්ව අසාදු ලේඛනගත කිරීම තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බැවින් ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන එම තීරණය බලරහිත කරන ලෙසත් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම වෙනුවෙන් ඔහුගෙන් රුපියල් මිලියන 5ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ද ඔහු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරට ත් ඉල්ලා තිබේ.