ලෝක කම්කරු දිනය අදයි – කොළඹ ආරක්ෂාව තර කෙරේ
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.
1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණි.
දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරන අතර කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැලි සහ උත්සව සංවිධාන කිරීම සිදුවේ.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙන්නේ, අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාකළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාදෙමින් ශ්රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරිම අද දවසේ අපේක්ෂාව බවය.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරිමට ඇතැම් පාර්ශව උත්සහ කළද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත ඇති එම අරමුදලට කිසිදු හානියක් සිදුවීමට ඉඩනොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කල හැකි සමාජ බලවේගය වැඩකරන ජනතාව බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවද පෙන්වාදෙයි.
මේ අතර මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාවට ද ඓතිහාසික දිනයක් බවය.
රටක් ලෙස බලවත් අර්බුදයන් රැසකට මුහුණ දී සිටින තත්වයක් තුළ මෙරට වැඩකරන ජනතාවට ද කම්කරු දිනය සමරන්නට සිදුව ඇත්තේ වසර කිහිපයක සිට අදූරදර්ශි පාලකයින් විසින් ඇති කළ අත්තනෝමතික ක්‍රියාවල ප්‍රතිඵල හේතුවෙන් බවය.
මේ අතර මෙරට දේශපාලන පක්ෂ රැසක් අද දිනයේ මැයි රැලි සහ පෙළපාලි සංවිධානය කර තිබේ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන මැයි දින රැලියට සහ පෙළපාලියට සහභාගි නොවන අතර එම මැයි රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි පෙළපාලිය සහ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේය.
ජාතික ජනබලවේගය ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන මැයි දින රැලිය කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දී පැවැත් වේ.
පෙරටුගාමී සමාජවාදි පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඪයේ දි පැවැත්වෙන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය සහ පෙළපාලිය මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා සඳහන් කළේය.
ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ හැටන් නගරයේ දී සිය කම්කරු දින සැමරුම් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර අද දිනයේ පැවැත්වෙන මැයි රැලි සහ පෙළපාලි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.
#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com