අර්ජුනගේ ඉල්ලීම ඉටු කළ ඉටු කළ හැක්කේ ඉඩම්වල වර්තමාන තක්සේරු ගාස්තුව ගෙවනවා නම් පමණයි..- UDA කියයි..
1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය අගයමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට රජයෙන් තෑගි දුන් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් කොටස්වල සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීම කළ හැක්කේ එම ඉඩම් කොටස්වල වර්තමාන තක්සේරු ගාස්තුව ගෙවනවා නම් පමණක් බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙසේද පැවසීය,
“96 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 14 දෙනෙකුට පර්චස් 10 ඉඩම් ලබා දුන්නා. නමුත් ක්‍රීඩකයන් 8 දෙනෙකු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට අවසර ඉල්ලා තිබෙනවා. මෙම ඉඩම් ලබාදී තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ පුද්ගලික පරිහරණයටයි. එහිදී වෙනත් පාර්ශවයකට ඉඩම ලබාදෙනවා නම් නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව කටයුතු කරනවානම් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ලබාදිය හැකියි.” යනුවෙන් සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමට බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සූම් තාක්ෂණය ඔස්සේ අද (5) පැවැති ඇසිදිසි පෙරමග සාකච්ඡාවේදියි.
1996 විල්ස් ලෝක කුසලානය දිනු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනාට බත්තරමුල්ල රොබට් ගුණසේකර මාවතෙන් පර්චස් 10 බැගින් වු ඉඩම් කැබලි 14 ක් වෙන් කර තිබේ. 1997.01.22 කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙම ඉඩම් ලබා දී ඇත්තේ රුපියල් 1000 කටය. විල්ස් ලෝක කුසලානය දිනා දීම ගෞරවයක් ලෙස මෙම ඉඩම් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වු එස්.බි.දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
අර්ජුන රණතුංග මහතා පසුව Wills Realtors (pvt) Ltd නම් සමාගමක් පිහිටුවා ඒ මගින් මෙම ඉඩමේ සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ඉල්ලා ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය අදාළ සමාගම පිළිබද විස්තර ඉල්ලා ඇතත් ඒ පිළිබද නිවැරිදි තොරතුරු ඉදිරිපත් කර නැත.
අර්ජුන රණතුංග මහතා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ දී මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්විමක් සිදු කර නොමැති අතර මෙම ඉල්ලීම නැවත නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇත්තේ 2021.02.01 වන දිනයි. ඉඩම් කැබලි 14 ම මෙම සමාගමට පවරන ලෙස එමගින් ඉල්ලා ඇත. මෙම ඉල්ලීමෙන් පසු මාවන් අතපත්තු හා රොමේෂ් කලුවිතාරණ තම ඉඩම් මෙම සමාගමට පැවරීමට විරෝධය නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත ව දැනුම් දී තිබේ.
අර්ජුනගේ සොහොයුර ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු 2022.08.23 වන දින මීට අදාළ ඉල්ලීමක් අර්ජුන රණතුංග විසින් නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇත. එමගින් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් කණ්ඩායමේ 08 දෙනෙකුට ලබාදුන් ඉඩම් කැබලි 08 ක් මෙම සමාගමට නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා පවරා දෙන ලෙසයි.