ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ මතයක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණයි

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ මතයක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණයි………………

 ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු ප්‍රථම සංචාරයට ඉන්දියාව තෝරාගත් අතර එහිදි  ඔවුන් සමඟ සාකච්ඡාවට බදුන් කරනුයේ කුමක්ද යන්න දැනගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අයිතියක් ඇති බව පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.12.16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත්  ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සිදුවීම් කිහිපයක් වුණා. එහි පළවෙනි කාරණය තමයි  ඇමරිකානු සහාකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතාගේ සංචාරය. එතුමා ලංකාවට පැමිණිලා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා හමුවෙලා සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේදී  ඉතාම විශේෂ ප්‍රකාශයක් කරනවා.  ඒ ප්‍රකාශය තමයි  මේ රටේ මුදල් වෙන රටකට ගිහිල්ලා තිබෙනවානම් ඒ ගෙනිච්ච මුදල් හොයාගන්න උදව් කරන්නම් කියලා. ඇමරිකාවට ලේසියෙන්ම ඒ උදව්ව කරන්න පුළුවන් සහ ඒ හැකියාව තිබෙන රටක්. විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය ලංකාවේ මුදල්  පිටරට ගෙනහිල්ලා හංගලා තිබෙනවා කියලා  බලයට පැමිණි අනුර කුමාර දිසානායක  මැතිතුමා, ඩොනල්ඩ් ලූ සහාකාර රාජ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව ප්‍රකාශ කළාම ප්‍රිති ප්‍රමෝදයට පත්වෙනවා මිසක් ඒ සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වෙන්න ඕනේ නැහැ. නමුත් අපි දැක්කේ එය නොවේ. අනුර කුමාර දිසානායක මැතිතුමණි දැන් තිබෙන්නේ  ඇමරිකාවෙන් සම්පූර්ණ සහයෝගය  ලබාගෙන වහාම  ඊලඟ අයවැය ලේඛනය ඉදිරිපත්  කරන්න පෙර මේ මුදල් හොයාගෙන ඒ මුදල් ලංකාවට  ගෙන්න ගන්න. මේ ලංකාවේ මහජනතාවගේ මුදල් කවුරුහරි  කෙනෙක් පිටරට ගෙනහිල්ලා තිබෙනවානම් ඒ කවුද කියලා  මේ රටේ ජනතාවට හෙළි කරන්න, ඒ මුදල් ලංකාවට ගෙනවිත්  මේ අයවැය හිඟය පියවලා  මේ රට සුඛිත මුදිත කරන්න  අවශ්‍ය පියවර අතිගරු ජනාධිපතිතුමා ගන්න කියන ඉල්ලීම කරන්න කැමති.

ඒ වගේම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා  ජනාධිපති පදවි ප්‍රාප්තියට පැමිණිලා ප්‍රථමව යන්නේ ඉන්දියාවට. අපි මෙය දකින්නේ දේශපාලන පක්ෂයක් විදිහට ඉතාම හොඳ දෙයක් හැටියට. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව  මේ රටේ මතයක් ඇතිකරන්න හදලා, ඒ දවස්වල බාජාජ් ත්‍රීවීලරයේ පාට්ස් විකුණපු මිනිස්සුන්ගේ අතපය කපලා වෙඩි තියලා මරලා දාපු කණ්ඩායමක් බලයට පැමිණිලා  තමන්ගේ ඒ මතයෙන් බැහැරවෙලා අපේ අසල්වැසි රාජ්‍ය  වන ඉන්දියාව සමඟ හොඳ හිත පතුරවා ගන්න මේ දරන උත්සහය ඉතාම අගය කරනවා. හැබැයි  ඔබතුමා  ඉන්දියාවට ගිහිල්ලා  මේ සාකච්ඡා කරන්නේ මොනවාද කියන කාරණය  ලංකාවට පැමිණි වාහාම මේ රටේ ජනතාවට  ප්‍රකාශ කරන්න ඕන. දැනටම ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රිවරයෙක් අපි දැක්කා ලියුමක් යවලා තිබෙනවා  ලංකාවේ ෆෙඩරල් තත්වයක් ඇති කරන්න බල කලයුතුයි කියන කාරණය. ඒ වගේම පහුගිය කාලයේ ජාතික ජනබලවේගයේ ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ 2015 – 2019 සකස් කරපු ව්‍යවස්ථාව ඉදිරියට ගෙනියනවා කියලා. එහි තිබුණෙත් ඒකීයභාවය අතහරින්න ව්‍යවස්ථාමය කටයුත්තක්. මේ සියලු කාරණා යම්කිසි සහායෝගිත්වයකින් හෝ  යම්කිසි එකඟතාවයකින් යුතුව සිදුවෙනවාද කියන ප්‍රශ්නය සමහරක් විට ජනතාවට ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වහාම මේ රටේ ජනතාවට දැනුම්දිය යුතුයි අතිගරු ජනාධිපතිතුමණනි ඔබතුමා ගිහිල්ලා මේ සාකච්ඡා කරන කාරණා මොනවාද ? ලංකාවේ මේ  ඒකීයභාවය සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගේනවා කියලා පොරොන්දුවෙච්ච නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  ඔබතුමන්ගේ මතය කුමක්ද? ඔබතුමන්ට ඉන්දියාවෙන් කිව්ව කාරණය කුමක්ද? කියන කාරණය  මේ රටේ ජනතාවට  දැනගන්න ලැබෙනවා නම් මේ රටට ගොඩක් වටිනවා.

ඒ වගේම මේ රට ලෝකයේ තිබෙන කුරිරුම ත්‍රස්තවාදය කියලා හදුන්වපු එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී සංවිධානයෙන් අවුරුදු 30 ක් තිස්සේ බැටකාලා මහා විනාශකාරී  ත්‍රස්තවාදයක් මේ රටින් නිමාකරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තර්ජනය අදටත් තිබෙනවා. ආරක්ෂක ඇමතිවරයා පිළිඅරගෙන තිබෙනවා උතුරු තියපු සැමරුම් වලින් 10 ට වැඩි ප්‍රමාණයක එල්.ටි.ටි.ඊ සංවිධානයේ යම්කිසි ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණා කියලා. මේ රටේ යුද්ධය බේරගන්න මුල්වුණු , තමන්ගේ ජිවිතයට සහ පවුලට වන තර්ජනය, හානිය නොතකා, මේ රටේ ජනාධිපතිවරු 04 කට කරන්න බැරි වුණු කාරණය වු එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් පරාජය කරලා, උතුරට සාමය ගෙනල්ලා ශ්‍රී ලංකාව නැවතත් එක්සේසත් කරලා ඒකීය රාජ්‍යයක් බවට පත්කරන්න කටයුතු කරපු නයකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට  ආරක්ෂක තර්ජන තිබෙනවා කියලා අපි කවුරුත් දන්නවා. පහුගිය ජනාධිපතිවරණ සමයේ  අපේ  පක්ෂයට මේ රටේ ජාතික බුද්ධි සේවා මඟින් විශේෂ ලියුමක්  එවලා තිබුණා, නාමල් රාජපක්ෂ මැතිතුමාට පවා විශාල ජිවිත තර්ජනයක් තිබෙනවා කියලා, ඒ අනුව නාමල් රාජපක්ෂ මැතිතුමාට  සහ  මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශේෂ ආරක්ෂාව සලසවන්න කටයුතු කරනවා, ඒ අනුව අපිටත් ඒ සම්බන්ධයෙන්  අවධානය යොමු කරන්න කියලා විශේෂ ඉල්ලීමක් කළා. මේ වගේ තත්වයක් යටතේ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව, හොයා බැලීමක් නොමැතිව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කරලා, කොටින් සමඟ ගිවිසුම් ගහලා, කොටින්ට උතුරු නැගෙනහිර ප්‍රදේශයක් වෙන්කරලා ලියලා දීපු නායකයින්ටයි, කොටින්ගෙන් රට බේරගත්ත නායකයින්ට යන දෙකොටසටම එකම ආරක්ෂාවක් නම් මේ රජය ලබාදෙන්නේ එහි කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිත අවධානය යොමු නොකරොත්  අනාගතයේදී මේ රටට එල්ල වන උවදුරුවලදි මේ රටේ කිසිම සාධාරණ පුරවැසියෙක්  රට වෙනුවෙන් නැගි සිටින එකක් නැහැ. එවැනි පුද්ගලයින් ආරක්ෂා කිරීමේ වගකීම දේශපාලන පක්ෂ පාඨ භේදයකින් තොරව සමස්ථ රටවැසියාටම  තිබෙන වගකිමක්, යුතුකමක්. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

 

තිලක් තේනුවර,

මාධ්‍ය අංශ ප්‍රධානි,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ