ඉතිහාසයේ වැඩි ම කාන්තා නියෝජනය දක්වා පාර්ලිමේන්තුව විකාශය වුණේ කොහොම ද?
මෙවර මහ මැතිවරණයේදී ඉතිහාසයට නව පිටුවක් පෙරළමින්, කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත් වී තිබේ.
කෙසේ වෙතත්” සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් තවමත් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කර නැත.
ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තුවක් සඳහා තේරීපත් වී ඇති වැඩි ම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.
මැතිවරණය ජය ගත් කාන්තාවන් 21ක්
ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් 21 දෙනෙකු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගයෙන් කාන්තාවන් 19ක් සහ සමගි ජන බලවේගයෙන් කාන්තාවන් 2ක් එලෙස තරගකාරී ලෙස මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු ආසනවලින් එක් ආසනයක් සඳහා කාන්තාවක් පත් කර තිබේ.
මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වැඩිම සංඛ්‍යාව මන්ත්‍රීවරියන් 13කි.
ඊයේ දිනයේ දී (නොවැම්බර් 18) දෙවන වරටත් අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 655,299ක් හිමි කරගත් අතර, එය දෙවැනි වන්නේ මෙවර විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ හතක් ඉක්මවා ලබා ගත් සංඛ්යාවටයි.
මීට පෙර මහමැතිවරණයක දී ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගෙන සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිමි කරගෙන තිබුණේ ලක්ෂ 5කට ආසන්න මනාප සංඛ්‍යාවකි.
21 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයට ඇමතිවරියන් දෙදෙනෙකු ඇතුළත් අතර, ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ය.
මෙවර තේරී පත් වී ඇති මන්ත්‍රීවරියන් අතරින් අති බහුතරයක් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබා ඇති අය වන අතර, විවිධ වෘත්තීන් නියෝජනය කරනකාන්තාවෝ විශාල පිරිසක් සිටිති.
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් මැතිවරණය ජයගත් සැමුවෙල් අම්බිගා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මලෛහ ජනතාව නියෝජනය කරන කාන්තාවන් වීම විශේෂත්වයකි.
එම ප්‍රජාව නියෝජනය කරන කාන්තාවන් පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙවරය.
BBC Sinhala