හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීම සඳහා නව පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට වන නඩුවේ විත්තිකරුවකු ලෙස වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබෙනවා.

නීතිපතිවරයා ගොනු කර ඇති මෙම නඩුව බලරහිත කරන ලෙස ඉල්ලමිනුයි ඔහු පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එය විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා මහතා පසුගියදා නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දී තිබුණා.

ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (31) කැඳවූවා.

එහිදී නව විනිසුරු මඩුල්ලක් නම් කෙරුණු අතර අදාළ පෙත්සම  ලබන 07 වනදා කැඳවීමට ද නියම කෙරුණා.